පුතත් එක්ක ඉන්න කාලය ගෙවෙනවා දැනෙන්නෙ නැහැ. ඒ ගැන ඉතිං අළුතින් කියන්න ඕනෑ නැහැනේ. පුංචි ළමුන්ගෙ සුන්දර ලෝකයයි. සුරතල් සතුන්ගෙ ලෝකයයි අතරෙ කාලය ගත කරන එක අපි කාටත් හැබෑම සතුටක්නේ.
හවසට මම ගෙදර ගියාම පුතා හැමදාම අළුත් ප්‍රශ්න අහනවා.
සමහර ඒවා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න.
සමහර ඒවා උත්තර දෙන්න පුළුවන් ඒත් මම නොදන්න ප්‍රශ්න.
සමහර ඒවා උත්තර දෙන්න බැරි ප්‍රශ්න.
සමහර ඒවා උත්තර දන්න ඒත් උත්තර දෙන්න බැරි ප්‍රශ්න.
සමහර ඒවා උත්තර නොදන්න, උත්තර දෙන්න බැරි ප්‍රශ්න. ඒ කියන්නේ අන්ඩර දෙමළ
ඉතිං හවසට ගෙදර ගියාම එයා ඉහත වර්ග පහෙන් එකක් හෝ දෙකක ප්‍රශ්ණ අහනවාම තමයි.
ඔන්න ඉතිං හරියටම රෑ 7.00කනිසම වෙනකොට බුදුන් වැඳලා අහවර වෙලා අප අපේ කථා පීරියඩි එකට එකතු උනා. දොඩම් ගෙඩි දෙකක් උස නැති උනාට මගේ කොළුවට හොඳට කපටිකං තේරෙනවා. පාඩම්වල වැඩ කරන්න වෙන නිසා පුළුවන් තරම් වෙලා කථා පීරියඩ් එක දික් කරගන්න තමයි එයා බලන්නේ.
ඉතිං එකී මෙකී නොකී කථා අතරෙ කොළු මගෙන් අහනවා.
අම්මෙ දහ අටේ කල්පනා කියන්නේ මොනවටද?
මොකද්ද පුතේ කිව්වෙ?
දහ අටේ කල්පනා කියන්නෙ මොනවටද අම්මෙ?
ඒකත් අර අංඩර දෙමළ වර්ගයේ ප්‍රශ්ණයක් ( රාජකාරියට දෙමළ විෂය අනිවාර්යය කරලා තිබුනත් සෑහෙන කාලයක් ගාටා ගාටා දෙමළ ඉගෙන ගත්තත් දෙමළ නම්මට අංඩර දෙමළම තමයි.)
මම ඉතිං දහ අතේ කල්පනා කලා. මොකද්ද මේ දහ අටේ කතා.
අපි සාමාන්‍යයෙන් අවුරුදු දහ අට කියන්නෙ පුද්ගලයෙක් වැඩිහිටයෙක් වෙනවා කියලා හඳුන්වන වයසටනේ. දහ අට පැන්නම දහ අටෙන් පහළ තහනම් හැම දෙයක්ම කරන්න මානව අයිතිවාසිකම් උරුම වෙනවනේ. එකත් එකටම දරුවගෙ ඉස්කොලෙ වෑන් එකේ යන කොලු පැටව් දැම්මම අහ අටේ කල්පනා ගැන කථා කරන්න පටන් අරගෙනද දන්නේ නැහැනේ. හැබැයි ඉතිං ඒතරම් වයසක ළමයි ඒ වෑන් එකේ යන්නේ නැහැ. පුතා අනුන්ගෙ කථා අහන්න ආස උනත් අපේ ගෙදරට මම නැති වෙලාවට කවුරුවත් වැඩිය එන්නෙ නැහැ. එයා ගෙදරින් පිට කියලා යන්නෙ ටියුෂන් ක්ලාස් එකකට විතරයි. ඒ යන්නෙත් ආච්චිත් එක්ක හරි සීයත් එක්ක හරි. අනිත් හැම ගමනක්ම යන්නේ අපිත් එක්ක. උදේ පිරිත් වලින් පස්සෙ කැසට් රෙකොඩරයෙත් දාන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙන් මම ගෙනපු ළමා ගීත, දේශානුරාගී ගීත. අපි නැති වෙලාවට ටී.වී. එකෙත් බලන්න දෙන්නෙ කාටුන් විතරයි. මේ හැම දෙයක්ම කරන්නෙ හොඳ දරුවෙක් සමාජයට දෙන්න කියලා හිතාගෙන. ඒත් දැන්මම කවුද මේ දහ අටේ කල්පනා ගැන ඔළුවට දාන්නේ.
පාසල් වෑන් රථයේ මාතලී නම් අවුරුදු විසි ගනන් වල කොළු ගැටයෙක්. එකත් එකටම මේ ළමයා තමයි අපේ දරුවන්ගෙ ඔළු වලට විශබීජ ඇතුල් කරන්නේ. ලබන මාසෙම වෙන වයසක මාතලී කෙනෙක් යන වෑන් එකක් හොයා ගන්න ඕනෑ. මමම තීරණය කරලා සම්මතත් කර ගත්තා කැබිනට් අනුමැතියට නොදාම. මේ තීරණය කැබිනට් අනුමැතිට දැම්මොත් වහාම ඉල්ලලා අස්කරගන්න කියනවා. කිසි දෙයක් ගැන ඒ ගොල්ලො කවදත් වැඩි බරක් ගන්නේ නැහැනේ. මේ කිරි දරුවො දැම්මම දහ අටේ කල්පනා ගැන හිතුවොත් ඒ ගැන කථා කරොත් අහන දකින අය. දොස් කියන්නේ අම්මටනේ. තාත්තලාට කවුද බනින්නේ. අනිත් එක ඉන්නෙත් එකයි. ඌව යකා වෙන්න ඉඩ දෙන්න පුළුවන්ද? මගේ ඒක පුද්ගල විනිශ්චය සභාව සියළු තීරණ ගත්තා.
කවුද පුතේ පුතාට ඔය දහ අටේ කල්පනා ගැන කියන්නේ?
ස්කූල් වෑන් එකේ රේඩියෝ එකේ ඇන්ටි කෙනෙක් අද කිව්වනෙ එයා දහ අටේ කල්පනා කරනවා කියලා.
ඔන්න මගෙ ටියුබ් ලයිට් මොළේ මීටර් එක හරියට වැඩ කරන්න ගත්තා.
දහ අටේ නෙමෙයි පුතේ. දහ අතේ කල්පනා කරනවා.
ඉතිං දහ අතේ කල්පනා කරනවා කියන්නෙ මොකද්ද?
දැං අම්මා මෙච්චරක් වෙලා කෙරුවෙ ඒකම තමයි.

No comments:
Post a Comment